Friday, February 18, 2011

කුණු කතා



අඟහරුවාදා හරි විශේෂ දවසක්.
 
එදා තමයි සතියකට වතාවක් ගමට කුණු ට්‍රැක්ටරේ එන දවස...

එදාට මුලු ගමම ක්‍රියාශීලීයි, කඩිසරයි. බොහොම අවදියෙන් ඉන්න බවක් පේන දවසක්.

කුණු පිළිබද ඉතිහාසය ලෝක‍යේ ආරම්භය තරම්ම පැරණි ඉතිහාසයක් උනාට අපේ ගමට අඟහරුවාදා විශේෂ දවසක් වීමේ ඉතිහාසය ඉතාම මෑත වකවානුවක සිදුවූවක්.

පුංචි හතරැස් කුණු ට්‍රැක්ටරේ කතාව

ඔන්න එකෝමත් එක ගමක උදවිය තමන්ගෙ කුණුත් රැකගෙන, අනුන්ගෙ කුණු ගැනත් ඉඳහිට අහිංසක විදිහට හොයමින්. ගෙවතු ඇතුලෙම වලලමින්, පුලුස්සමින් තමන්ගෙ කුණු දුගඳවල් අවට පැතිරීමත් වළක්ව ගන්න උත්සාහ කරමින් බොහෝම සතුටින් ජීවත් උනා.

ඔන්න ඔය අතරෙ දවසක් මේ ගමට ආව අමුත්තෙක්. දුම් පිඹගෙන සද්ද දාගෙන එද්දි ගමේ කවුරුත් බැලුව කවුද මේ එන්නෙ කියල.

මම තමයි පුංචි හතරැස් කුණු ට්‍රැක්ටරේ
අමුත්ත උත්තර දුන්න.

ඊට පස්සෙ මෙහෙම කවියක් කිවුව

කුණු බක්කිය සූරාල
වත්ත පුරා අතුගාලා
එකතු කරල කුණු අරගෙන
නොපෙනෙන්නට ගැට ගහලා....

ට්‍රැක්ටරේ ආගමනයත් එක්ක කුණු කියන්නෙ ගමේ දැවෙන ප්‍රශ්නයක් වෙන්න වැඩි කාලයක් ගියේ නෑ. අනුන්ගෙ කුණු, තමන්ගෙ කුණු, හැමෝගෙම කුණු පිටට නොපෙනෙන පොහොර උර වල සහ පොලිතින් මලු වල ගැටගහල අඟහරුවාදාවල් වලදි වතු මිදුල් වලින් එළියට සැපත් වෙන්න පටන් ගත්තා. නමක් ගමක් නැතිව කාගෙ කාගෙද කියල නොපෙනෙන්න හැම කුණු මල්ලක්ම එකාවගේ පුංචි හතරැස් කුණු ට්‍රැක්ටරේ නැඟල ගමෙන් පිට උනා.

කුණු ට්‍රැක්ටරේ ආව
කුණු ට්‍රැක්ටරේ ගියා
ආයෙත් ආව..

මේ අතරෙ කුණු කියල මෙතෙක් නොහිතපු සමහර දේවලුත් කුණු කියන කුලකයට ඇතුල් වෙන්න පටන් අරන් තිබ්බා.

මාලු ටැංකි, පරණ කුෂන් සහ අයන් බෝඩ් වැනිදේ.

නව උත්සව සතියක්

කුණු ට්‍රැක්ටරේට ගමට සම්ප්‍රාප්ත වෙන්න ස්ථිර වෙලාවක් කියල නැහැ. සමහර අගහරුවාදා දවස් වලට උදේ දහයට එකොළහටත් තවත් දවස්වල හවස තුන හතරටත් එනව. ඉඳල හිටල නෑවිත් ඉන්න දවසුත් නැතිවාම නෙමෙයි.

එහෙම දවසකට පස්සෙ පාරෙ දඩාවතේ යන බල්ලන්ට උදාවෙන්නෙ උත්සව සතියක්.

පෙර සූදානම

කුණු ට්‍රැක්ටරේ ගමට සම්ප්‍රාප්ත වීම මිනිස්සුන්ට දැනෙන්න ගන්නෙ සඳුදා හවස ඉදලමයි. සඳුදා හවස ඉඳන් ගමේ අවදානම් අවඩි වල ඒ කිවුවෙ දෙවටවල් අසල සහ පාරට කිට්ටුව නිවෙස් වල වෙසෙන අය තමන්ගෙ වත්ත මායිම් මුර කරන්න අරඹනව.

ඒ අතරවාරෙ කල්තියා කුණු දමන්නන් සතුරු භාදක වැටකඩොලු වලින් ගැලවෙමින් ඔවුන් ඇසට වැලි ගසමින් සාර්ථක කුණු දැමීමක් සදහා සැලසුම් කරනව.

කල්තියා කුණුදමන්නන්ගේ පිලට බොහෝවිට අයත් වන්නේ තරමක් දවල් වී අවදි වන අය, දවල් වී සේවයට පිටත් වන අය සහ ගමේ මායිමෙන් පිටත වෙසෙන නමුත් කුණු ප්‍රශ්නයෙන් පීඩා විදින අය.

මල්ලිකා නැන්දගෙ කතාව

කුණු කියන්නෙ මිනිස්සුන්ට සාමූහික හැඟීමක්, උනුන් අතර නිහඬ එකඟත්වයක් දනවන දෙයක්. ඒ නිසාම නොසලකා හැරීම ඉතා භයානක ප්‍රතිඵල උදාකරවන්න තුඩු දෙන්නක්.

මල්ලිකා නැන්දට උනේ එහෙම විපත්තියක්.

සතියක් දෙකක් වත්ත අයිනේ තමන්ගෙ කුණු මල්ලත් එක්ක තවත් කුණු මල්ලක් දෙකක් තිබීම මල්ලිකා නැන්ද එතරම් ගණන් ගත්තෙ නෑ. ඒ නොසලකා හැරීම නිසා මාසයක් ගතවෙද්දි ඇගේ නිවස ඉදිරිපස ඉඩකඩ ගමේ බහුතරයකගෙ පොදු කුණු දැමීමේ ස්ථානය උනා.

මල්ලිකා නැන්දගෙ නිවස ඉදිරිපස එකතු වන කුණු මලු ප්‍රමාණය සතියෙන් සතිය ඉහල යාමත් එක්කම කවුරු කවුරුත් උනුන් අතර රහසිගත එකඟතාවයකින් බැදුණු නිදහස් සහනයක් අත්වින්දා.

වචන වලට පෙරළගන්න අපහසු සහනයක් නිසාමද කොහෙද මල්ලිකා නැන්ද ඉදිරිපිටදි ඔවුන්ගෙ සිතැඟි වචනාර්ථයෙන් පිටවුනේ විකාර සහ වැරදි විදිහට.

හෙණ ගහන අපරාධ නැන්දෙ.
ඉඳින්කො නංගියෙ මාත් ඇහැ ගහගෙන ඉන්නම් කවුද මේ කුණූ දාන අවලම්මු කියල.

නොනවතින හිත්වේදනාවත්, ගමේ දිරි වදන් වලින් ලැබුණු පෙළඹවීමත් එක්ක අවසානයේදි මල්ලිකා නැන්ද මේ අපරාධයට විරුද්ධව සටන් කරන්න නැගී හිටිය.

කාලයක් පුරා ගෙනගිය සෑහෙන සටනකින් පස්සෙ ඇයට ජයග්‍රහණයක පලමු සේයාව දකින්න ලැබුණ. සැඟවී රැක සිටීම්, බැන වැදීම් අතරතුර ප්‍රාදේශීය සභාවට ලියන ලද ලියවිලි සහ ඉහල උදවියට දෙන ලද දුරකථන ඇමතුම් හේතුවෙන්.

ඇබ්බැහිවීම,සාමාන්‍යකරණය සහ යාන්ත්‍රිකත්වය

මෙහි කුණු දැමීම තහනම්!

තමන්ගෙ ගේ ඉදිරිපිට තහනම් නියෝගය පණවන ලද පුවරුව වැටුණු සැනින් මල්ලිකා නැන්දගෙ සටන අහවර උනේ නැහැ. පසුකාලීනව සාමාන්‍යකරණයට ලක්වුණ රහසිගත වීර ක්‍රියාවක් ලෙසින් මිනිස්සු  කාලයත් එක්ක පොදු කුණු දැමීමේ ස්ථානයට සහ ක්‍රියාවලියට යාන්ත්‍රිකව හුරු වෙලයි හිටියෙ.

සමහරු තහනම් පුවරුව දැක්කෙ තවත් සති ගණනක් ගිය තැන මල්ලිකා නැන්දගෙ මග පෙන්වීම මත.

කුණු මඟින් අලුත් සහ සවිමත් සබඳතා.

මල්ලිකා නැන්ද දැන් ඉස්සර තරම් විනීත නැන්දත් එක්ක ආශ්‍රයක් නෑ.

එළිපිට කුණු දමන්නන්ට එරෙහිව මල්ලිකා නැන්දත් එක්ක දෙස් දෙවොල් තිබ්බත් හොර රහසේම තම ඥාති ප්‍රත්‍රයෙක් ලවා දමන්නට සැරසුණු කුණු මල්ලක් අසුවීම තමයි හේතුව.

මල්ලිකා නැන්දගෙ සැමිය නිමලසිරි.

මුලදි කුණු ප්‍රශ්නය එතරම් කණකට නොගත්තත් මල්ලිකා නැන්ද ඇතුලු අසල්වාසීන්ගේ කියමන් නිසාම මෙහි යම්කිසි භයානක පෙරනිමිත්තක් තිබිය හැකි බව දැණුනු නිසාමද මන්ද සටනට එකතු උන කෙනෙක්.

මෑතකට පටන් ඔහුගෙ හොඳම මිතුරා තමයි ඉස්සරහ ගෙදර ජයන්ත

මෙතුවක් කල් මල්ලිකා නැන්දල එක්ක වැඩි ආශ්‍රයක් නොතිබුණත් ඔවුන්ගේ හොරෙන් කුණු දමන්නන් වැටලීමේ සටන‍ට ජයන්ත පූර්ණ සහයෝගය දැක්වුව.

දවස් කීපයක්ම රෑ නිදි මරාගෙන සහ පාන්දරින් නැගිටල රැකගෙන නිමලසිරි මාමටත් මල්ලිකා නැන්දටත් අනඟි සහයක් දුන්න.

දැන් හැම සෙනසුරාදාකම නිමලසිරි මාම සෙට් වෙන්නෙ ජයන්ත එක්කල.

නිර්මාණශීලීත්වයේ නව පිබිදීමක්

ගමේ පොදු කුණු දැමීමේ ස්ථානය වෙනස් වීමත් එක්ක ගතවුණු කාලය හරි අපූරුයි.

බිඳවැටීමක්, අපේක්ෂා භංගත්වයක් එක්ක නිහඬ සාමූහික එකඟත්වයක් සඳහා හැමෝම කල් බැලූ අවධියක්.

ඒ වන විට රහසිගත නව යෝජනා බිහි වෙමින් තිබුණා. ඒවාගේ ප්‍රතිඵලත් එක්ක අලුත් කුණු දැමීමේ ස්ථාන කිහිපයක්ම එක් රැයින් බිහිවෙන්න පටන් ගත්තා.

කඩේ ගාව, දෙවැනි පටුමග ගාව, ඥානක්කගෙ ගේ ගාව...

තමන්ගේ පහසුව සහ සුරක්ෂිතකම සලකගෙන මිනිස්සු ඒ ස්ථාන අතුරෙන් එකක් තෝරගත්තා. සමහර හේතු නිසා සමහරුන්ගේ තේරීම් සතියෙන් සතියට වෙනස් වෙන්න පටන් ගත්තා.

කුණු ට්‍රැක්ටරේ සේවකයන් උනත් ඒ වකවානුව ගෙවුවෙ බොහොම අමාරුවෙන්. එක තැනක කුණු එකතුකිරීම වෙනුවට කිහිප තැනකින් බසිමින් නවත්වමින් කුණු එකතු කරන්නට සිදුවීම ඔවුන්ට අපහසුවක් දැනෙවුව.

ඔවුන් අතරත් විවිධ යෝජනා, චෝදනා පාව යන්න පටන්ගත්ත.

කුණු වලට අයත් නොවන කුණු වර්ග එකතු නොකරන බව ඔවුන් ගම්වැසියන් හමුවේ කිවුව.

වීදුරු කටු, බෝතල්, පොල්කටු ආදිය ඒ අතුරින් කිහිපයක්.

දේවල් එහෙම සිද්ධවීගෙන යද්දි කුණු දමන්නනුත් නිර්මාණශීලීත්වයෙන් සහ සැලසුම් සහගත බවෙන් හදිසි වර්ධනයක් පෙන්නුම් කරමින් සිටිය.

කුණු දැමීමේ නිර්මාණශීලී අදහස් අතරින්,

කඩේ යන මුවාවෙන් පාන්, එළවලු මලුවල සගවාගෙන කුණු මලු ගෙනැවිත් දැමීම.

සහචරයෙක් මගට එවා එස් එම් එස් මාර්ගයෙන් ආරක්ෂක තත්ත්වය විමසා කුණු බැහැර කිරීම.

වැනි ක්‍රමයන් වඩාත් බහුලව භාවිතයට ගැනෙනු ලැබුණා.

අලුත් කුණු, පරණ කුණු ගමේ කුණු සහ පිට කුණු

එකිනෙකාට අයත් ස්ථාන වල කුණු දැමීම නිසා උන විරසකවීම් හේතුවෙන් සමහරුන්ගෙ නිවෙස් වතු ඇතුලෙ සැඟවිලා තිබුණ වසර ගණන් පරණ කුණු පවා ගොඩ එන්න පටන් ගෙන තිබුණ. ඒ අතරතුරදී හදිසි අවස්ථාවක ප්‍රයෝජනයට ගැනීමට අලුත් කුණු සෙවීමේ රැල්ලත් වඩ වඩා සවිමත් වෙන්න ගත්ත.

මීට අමතරව ගමේ කුණු සහ පිට කුණු අතරද සටන් ඇවිලුණා. අලුතින් ගමේ පදිංචියට පැමිණි කුලී නිවැසියන් සහ බෝඩිංකාරයින් ගම්වැසියන්ගේ නොමඳ ගර්හාවට පාත්‍ර උනා.

වඩාත්ම අපිරිසිදු කුණු ඇත්තේ පිටින් ගමට ආ උන්ගේ මලු වල බව මුලු ගමම පාහේ අදහන මතයක් බවට පත්වුනා.

ඒ ඇදහීම අද වනතුරුත් එහෙමමයි.

කුණු කතාත් තව එමටයි.

ඒ උනත් මෙහෙම ලියන්න වෙනව.

ලිපියේ අවසානය හෙවත් බ්ලොග්කරණය සහ කුණු

ඉතිහාසය නැවත ලිවීම කියන්නෙ එක්තරා ආකාරයකින් කුණුගොඩවල් ඇවිස්සීමක්. මේ බ්ලොග් ලිපියත් ඒවගේ එකක්. මනකල්පිත නම් ගම් සහිතව නමුත් බොහෝ දුරට සත්‍ය සිද්ධීන් ඇසුරු කරගෙන ලියවුනක්. අනුන්ගෙ කුණු හොයන්නෙ නැතිව තමන්ගෙ පාඩුවෙ ඉන්න උදවියට නම් අල්ලයිද දන්නෙ නෑ. ඇල්ලුවත් නැතත් ඒක මට අදාල කුණු ගොඩක් නොකරගෙන ඉන්න තරමට මට හොඳයි.

5 comments:

  1. හප්පේ. . . කුණු හින්දා වෙන සහ සම්බන්ධකම් සහ විරසක ඔක්කොම ගැන ලියලා. ලිවිල්ල නියම නිසා දිග වැඩිකම තේරුනේ ස්ක්‍රොල් බාර් එක දිගේ උඩට යද්දි. මම වැඩියෙන්ම ආසා මල්ලිකා නැන්දගේ කොටසට!

    ReplyDelete
  2. අප්පා..! කුණු ගොඩක් ගිය දුරක් හා පර්ෆෙක්ට් අවසානයක්!! නියමයි!!

    ReplyDelete
  3. කියවා කමෙන්ටුවක් කෙටූ මචන්ලා මචීලාට බොහොමත්ම ස්තූතියි :)

    ReplyDelete
  4. ලස්සනට ගොතලා.ඔබට ජය!
    http://samanbandaraherath.blogspot.com/2012/10/blog-post_15.html

    ReplyDelete